Tuesday, March 15, 2016

ඉගැන්වීම් සහ ඉගෙනුම් ක්‍රියාවලියේ ගුණාත්මක සංවර්ධනය සඳහා පාසල් පුස්තකාල ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයේ නූතන කාර්යභාරය


                                                                        උදිත අලහකෝන්
   ජාතික පුස්තකාල හා විඥාපන විද්‍යා ආයතනය
       කොළඹ විශ්වවිද්‍යාලය
හැඳින්වීම

අධ්‍යාපනික මනෝවිද්‍යාඥයින් විසින් ඉගෙනුම පිළිබඳ විවිධ න්‍යායන් ඉදිරිපත් කර ඇත. මෙම න්‍යායන් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැකිය. එනම්, (i) චර්යාවාදී (ii) ප්‍රජානන සහ (iii) සමාජමය වශයෙනි. චර්යාවාදී න්‍යායට අනුව ඉගෙනුම යනු බාහිර චර්යාවේ ඇතිවන නිරීක්ෂණය කළ හැකි වෙනසකි. ප්‍රජානන න්‍යාය පැහැදිලි කරන ආකාරයට එය කෙනෙකුගේ ඇතුළාන්තය තුළ සිදුවන දක්ෂතා, චින්තන ශක්තිය, හැකියා යනාදියේ වෙනසකි. සමාජයේ ජීවත් වන පුද්ගලයෙකු ලෙස කෙනෙකු වෙත කරනු ලබන බලපෑම සමාජමය ඉගෙනුම වශයෙන් ඉදිරිපත් කෙරේ (සේනාධීර, 2012). මේ අනුව, පාසල තුළ ඉගැන්වීම් සහ ඉගෙනුම් ක්‍රියාවලිය සකස් විය යුත්තේ ඉහත වෙනස සාධනීය තලයකට ගෙන ඒම පිණිසය. අනෙක් අතට අධ්‍යාපනයේ මූලිකම අරමුණ වන්නේ සමබර පෞරුෂයක් සහිත පුද්ගලයෙකු සමාජයට දායාද කිරීමය. මෙකී තත්ත්වය වෙත ළඟා වීම සඳහා කලින් කලට විවිධ නවමු සංකල්ප අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දෙනු ලබයි. ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපනය, නිපුණතා පාදක අධ්‍යාපනය, විමසුම් පාදක අධ්‍යාපනය, සම්පත් පාදක අධ්‍යාපනය, යාවජීව අධ්‍යාපනය යනාදිය ඊට නිදසුන් කීපයකි. එසේ වුවත්, ශ්‍රී ලාංකීය පාසල් පද්ධතියේ ඉගැන්වීම් සහ ඉගෙනුම් ක්‍රියාවලිය නිරීක්ෂණය කරන විට පෙනී යනුයේ මෙකී සංකල්පය යථාර්ථයක් බවට පත්වීමේ ප්‍රවණතාව අතිශයින් ම සීමිත බවයි. ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනය, ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් බවට පරිවර්තනය කිරීමේ ප්‍රයත්නයට අත් වූයේ ද මෙම ඉරණම ම වේ. එහෙයින් සංකල්පය සහ යථාර්ථය අතර පවත්නා මෙම පරතරය පියවා ගැනීම වත්මන් ශ්‍රී ලාංකීය පාසල් අධ්‍යාපනය මුහුණ දෙන ප්‍රබල ම අභියෝගයක් වේ. මෙම ලිපියෙන් උත්සාහ කරනුයේ පුස්තකාල හා ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය පාසලේ ඉගැන්වීම් සහ ඉගෙනුම් ක්‍රියාවලියේ කේන්ද්‍රීය අවකාශයක් බවට පත් කර ගැනීම මගින් ඉහත අභියෝගය ජය ගැනීම සඳහා මාවතක් විවර කර ගැනීමටය.