උදිත
අලහකෝන්
ජාතික
පුස්තකාල හා විඥාපන විද්‍යා ආයතනය
කොළඹ විශ්වවිද්‍යාලය
හැඳින්වීම
අධ්‍යාපනික
මනෝවිද්‍යාඥයින් විසින් ඉගෙනුම පිළිබඳ විවිධ න්‍යායන් ඉදිරිපත් කර ඇත. මෙම න්‍යායන්
ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැකිය. එනම්, (i) චර්යාවාදී (ii) ප්රජානන සහ (iii) සමාජමය වශයෙනි. චර්යාවාදී න්‍යායට අනුව ඉගෙනුම
යනු බාහිර චර්යාවේ ඇතිවන නිරීක්ෂණය කළ හැකි වෙනසකි. ප්රජානන න්‍යාය පැහැදිලි කරන
ආකාරයට එය කෙනෙකුගේ ඇතුළාන්තය තුළ සිදුවන දක්ෂතා, චින්තන ශක්තිය, හැකියා යනාදියේ
වෙනසකි. සමාජයේ ජීවත් වන පුද්ගලයෙකු ලෙස කෙනෙකු වෙත කරනු ලබන බලපෑම සමාජමය ඉගෙනුම වශයෙන්
ඉදිරිපත් කෙරේ (සේනාධීර, 2012). මේ අනුව, පාසල තුළ ඉගැන්වීම් සහ ඉගෙනුම් ක්‍රියාවලිය
සකස් විය යුත්තේ ඉහත වෙනස සාධනීය තලයකට ගෙන ඒම පිණිසය. අනෙක් අතට අධ්‍යාපනයේ
මූලිකම අරමුණ වන්නේ සමබර පෞරුෂයක් සහිත පුද්ගලයෙකු සමාජයට දායාද කිරීමය. මෙකී
තත්ත්වය වෙත ළඟා වීම සඳහා කලින් කලට විවිධ නවමු සංකල්ප අධ්‍යාපන පද්ධතියට හඳුන්වා
දෙනු ලබයි. ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපනය, නිපුණතා පාදක අධ්‍යාපනය, විමසුම් පාදක
අධ්‍යාපනය, සම්පත් පාදක අධ්‍යාපනය, යාවජීව අධ්‍යාපනය යනාදිය ඊට නිදසුන් කීපයකි.
එසේ වුවත්, ශ්‍රී ලාංකීය පාසල් පද්ධතියේ ඉගැන්වීම් සහ ඉගෙනුම් ක්‍රියාවලිය
නිරීක්ෂණය කරන විට පෙනී යනුයේ මෙකී සංකල්පය යථාර්ථයක් බවට පත්වීමේ ප්‍රවණතාව
අතිශයින් ම සීමිත බවයි. ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනය, ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක්
බවට පරිවර්තනය කිරීමේ ප්රයත්නයට අත් වූයේ ද මෙම ඉරණම ම වේ. එහෙයින් සංකල්පය සහ
යථාර්ථය අතර පවත්නා මෙම පරතරය පියවා ගැනීම වත්මන් ශ්‍රී ලාංකීය පාසල් අධ්‍යාපනය
මුහුණ දෙන ප්‍රබල ම අභියෝගයක් වේ. මෙම ලිපියෙන් උත්සාහ කරනුයේ පුස්තකාල හා ඉගෙනුම්
සම්පත් මධ්‍යස්ථානය පාසලේ ඉගැන්වීම් සහ ඉගෙනුම් ක්‍රියාවලියේ කේන්ද්‍රීය අවකාශයක් බවට පත් කර ගැනීම මගින් ඉහත අභියෝගය ජය
ගැනීම සඳහා මාවතක් විවර කර ගැනීමටය.
සංකල්පීය රාමුව
1956
දී බෙන්ජමින් බ්ලූම් නම් අධ්‍යාපන විද්‍යාඥයා අධ්‍යාපනයේ අරමුණු වර්ගීකරණයකට ලක්
කර ඒ සඳහා රාමුවක් සම්පාදනය කළේය. එය මේ වන විට කීප වතාවක් ප්‍රතිශෝධනය කර ඇත. අධ්‍යාපන
ක්ෂේත්රය තුළ බ්ලූම්ගේ වර්ගීකරණය ලෙස ප්රකටව ඇත්තේ මෙයයි. ඔහු එය ඉදිරිපත්
කරනුයේ ත්රිකෝණාකාරවය. එහි නවතම සංස්කරණය මෙසේය (Anderson, 2001).
![]() |
|||
![]() |
|||















බ්ලූම්ගේ වර්ගීකරණය
ශිෂ්‍යයන් මෙම පියවර හයෙහි ම රැගෙන යාමට සමත්
ගුරුවරයා ඉගැන්වීමෙහි සාර්ථකත්වය අත්පත් කර ගන්නෙකි. එමෙන් ම මෙම පියවර හයෙහිම
යාමට සමත් ශිෂ්‍යයා සාර්ථක ඉගෙනුම්කරුවෙකි. එහෙත් ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය
තුළ බොහෝ විට මෙම පළමු පියවර දෙකෙන් ඉහළට ගමන් කරනු දක්නට ලැබෙනුයේ අවම වශයෙනි. එහෙයින්
එය මතුපිට ඉගෙනුමට සීමා වේ. මෙම පළමු පියවර දෙකෙහි දී මූලික ස්ථානයක් ගනුයේ
ගුරුවරයා ය. එමනිසා එය ගුරු කේන්ද්‍රීය වේ. ඊළඟ පියවර හතරෙහි ගමන් කිරීමේ දී වැඩි
වගකීමක් සහ කාර්යයක් ඇත්තේ ශිෂ්‍යයාටය. ගුරුවරයාට තිබෙනුයේ මග පෙන්වීමේ සහ ඇගයීමේ
කාර්ය පමණි. එහෙයින් එය ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුමක් වේ. ශිෂ්‍යයා ගැඹුරු සහ
ස්වාධීන ඉගෙනුම්කරුවෙකු වීමට නම් ඔහු/ඇය හයවෙනි පියවර දක්වාම ගමන් කළ යුතුය. එහෙත්
පංති කාමරයේ දී සාම්ප්‍රදායිකව සිදු කෙරෙන ගුරු ආදර්ශන ඉගැන්වීම් ක්‍රමයෙන් පමණක්
මෙම ඉලක්කය සපුරා ගැනීම උගහටය (පේමදාස,
2013).
පාසල් පුස්තකාල හා ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයේ
කාර්යභාරය සංකල්පීය මෙන් ම ව්‍යවහාරික වශයෙන් ද තීරණාත්මක වන්නේ මෙහිදීය. මේ අනුව
ඉගෙනුම යන්න තොරතුරු විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් පැහැදිලි කර ගත යුතුව ඇත.
තොරතුරු විද්‍යාත්මකව සලකා බැලීමේ දී ඉගෙනුම යනු තොරතුරු, දැනුම බවට පරිවර්තනය
කිරීමයි. පරීක්ෂණවල දී තොරතුරු එලෙස ම ඉදිරිපත් කරන්නා මතුපිට ඉගෙනුම්කරුවෙකු වන
අතර ගැඹුරු ඉගෙනීමක නියැලෙන්නා තොරතුරු, දැනුම බවට පත් කරයි. එය කළ හැක්කේ එම
තොරතුරුවලට අරුතක් ලබා දීමෙනි. මෙලෙස, තොරතුරු, දැනුම බවට පරිවර්තනය කිරීමට නියත
ක්‍රමවේදයක් අනුගමනය කිරීම අවශ්‍යය. තොරතුරු සාක්ෂරතාව ලෙස හඳුන්වන්නේ එයයි. වෙනත්
ආකාරයකට පවසන්නේ නම් තොරතුරු, දැනුම බවට පත් කළ හැක්කේ තොරතුරු සාක්ෂරතාවෙන් යුත්
පුද්ගලයන්ට පමණි (පේමදාස, අලහකෝන්,
2006). මෙලෙස තොරතුරු සාක්ෂරතාව අත්පත් කර ගැනීම සඳහා සකසන ලද තොරතුරු සාක්ෂරතා
ආදර්ශන රැසක් ලොව පුරා විවිධ රටවල් විසින් භාවිත කරනු ලැබේ. දකුණු සහ අග්නිදිග
ආසියානු කලාපය තුළ මේ සඳහා භාවිත කෙරෙනුයේ සවිබලකරණය 8 නම් ආදර්ශනයයි. එම ආදර්ශයේ
පියවර පහත දැක්වේ (විජේතුංග, අලහකෝන්, 2006).

සවිබලකරණය
8 තොරතුරු සාක්ෂරතා ආදර්ශය
මෙම පියවර අටෙහි ගමන් කරන සිසුවෙකුට ගැටලුව හඳුනා
ගැනීම, ඊට අදාළ තොරතුරු වෙත ස්ථානගත වීම, ඒවා අවබෝධ කර ගැනීම, නිර්මාණය සහ
ඉදිරිපත් කිරීමේ කුසලතා දියුණු කර ගත හැකිය. මෙම සෑම අදියරකටම අදාළ තොරතුරු කුසලතා
රැසක් තිබේ. මෙම තොරතුරු කුසලතාවලින් තොරව බ්ලූම්ගේ වර්ගීකරණයේ 3-6 දක්වා අදියරවලට
ගමන් කිරීම දුෂ්කරය. එහෙයින් ගැඹුරු ඉගෙනුම්කරුවෙකු හෝ ස්වාධීන ඉගෙනුම්කරුවෙකු හෝ
යාවජීව ඉගෙනුම්කරුවෙකු බිහි කිරීමට නම් අධ්‍යාපනික න්‍යාය සහ තොරතුරු න්‍යාය අතර
සමෝධානයක් ඇති කළ යුතු වේ. මන්ද, තොරතුරු රහිතව කළ හැකි ඉගෙනුමක් නොමැති බැවිනි;
තොරතුරු, දැනුම බවට පරිවර්තනය කිරීම ඉගෙනුම වන බැවිනි. ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය
යථාර්ථයක් බවට පත් වන්නේ එමගිනි.
ඉහත කී අයුරින් අධ්‍යාපනයේ ගුණාත්මක වෙනසක් සඳහා
වන සංකල්පීය පරිවර්තනය යථාර්ථයක් බවට පත් කිරීමේ දී පාසල් පුස්තකාලයේ භූමිකාව
අතිශයින් තීරණාත්මක වේ. වත්මන් සංකල්පයට අනුව පාසල් පුස්තකාලය යනුවෙන් හැඳින්වීමේ
දී එයට පුස්තකාලය, ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකය සහ පරිගණක විද්‍යාගාරය යන අංග තුනම ඇතුළත්
වේ. මන්ද, පාසලක තොරතුරු ස්ථානගත වී ඇති ප්‍රධාන ස්ථාන මේවා බැවිනි. එහෙයින් පාසල්
පුස්තකාල ගොඩනැගිල්ලේ ව්‍යුහය පවා මෙම සංකල්පයට අනුව සකස් විය යුතුව තිබේ. දැනට
වසර ගණනාවකට පෙර මෙම සැලැස්මට අනුකූල ආදර්ශ පාසල් පුස්තකාල හා ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන
නවයක් පළාත් නවය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදි කර ඇත. බොහෝ පාසල්වල මෙම
අංග තුන භෞතිකව වෙන්ව පැවතීම ඉහත කාර්ය ඉටු කර ගැනීමට බාධාවක් වී ඇත. මේ නිසා
භෞතික පෙනුමේ සිටම පාසල් පුස්තකාලයේ වෙනස සිදු වීම අවශ්‍යය.
මේ අනුව පාසල් පුස්තකාල හා ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය
විසින් ඉටු කළ යුතු ප්‍රධාන කාර්යයන් හතරකි.
I.
සිසුන්ගේ තොරතුරු කුසලතා වර්ධනය කිරීම
II.
ඉගෙනුම් දිගුවට සහාය වීම
III.
සහයෝගී ඉගැන්වීම
IV.
සාහිත්‍ය කලා රසාස්වාදය
ඉහත සඳහන් කළ පරිදි සිසුන් තමන්ට අවශ්‍ය තොරතුරු
හඳුනා ගෙන, ඊට කාර්යක්ෂමව ප්‍රවේශ වී ඇගයීමකට ලක් කර තම කාර්ය සඳහා භාවිත කිරීමට
අවශ්‍ය කුසලතා රැසක් පවතී. පාසල් පුස්තකාල කාර්ය මණ්ඩලයේ ප්‍රධාන කාර්යය වන්නේ මෙම
කුසලතා සිසුන්ට ක්‍රියාකාරකම් ඇසුරින් ඉගැන්වීමය.
පුස්තකාලයේ දී මෙලෙස වෙන් වෙන් වශයෙන් ඉගෙන ගන්නා
කුසලතා විෂය මාලාවට සමෝධානය කිරීම අත්‍යවශ්‍ය වේ. එය කළ හැක්කේ පුස්තකාල කාර්ය
මණ්ඩලය විෂය භාර ගුරුභවතුන් සමග සහයෝගී ඉගැන්වීමෙහි යෙදීමෙනි. තොරතුරු කුසලතා හා
විෂය දැනුම එක් වන්නේ එවිටය. එය සිසුන් ස්වාධීන ඉගෙනුම්කරුවන් වීමට මග හෙළි පෙහෙලි
කිරීමකි.
ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ ඉගෙනුමේ
දිගුව ක්‍රියාත්මක වන්නේ කිසිදු සඵලතාවයකින් තොරව බව පැහැදිලි කරුණකි. මෙයට ප්‍රධාන
හේතුව වී ඇත්තේ ඇගයීමට ලක් කෙරෙනුයේ පැවරුම් හා ව්‍යාපෘතිවල ඵලය මිස ක්‍රියාවලිය
නොවීමය. පැවරුමක් හෝ ව්‍යාපෘතියක් සාර්ථක කර ගැනීමට නම් ඉහත සඳහන් කළ තොරතුරු
සාක්ෂරතා ආදර්ශයේ පියවරවල ගමන් කිරීම අත්‍යවශ්‍යය. එහෙයින් ප්‍රධාන වශයෙන් ඇගයීමට
ලක් කළ යුත්තේ එම පියවරවල දී සිසුවා ක්‍රියා කළ ආකාරයයි.
සාහිත්‍ය සහ කලාව පාසල් පද්ධතිය තුළ අවතක්සේරු
කිරීමෙහි සහ සිසුන්ගෙන් දුරස්ථ කිරීමෙහි ප්‍රතිඵල වත්මන් සමාජය භුක්ති විඳිමින්
සිටී. මෙම තත්ත්වය මග හරවා ගැනීම නම් සාහිත්‍ය සහ කලාව රස විඳීමට සමත් පුද්ගලයෙකු
පාසලෙන් බිහි කළ යුතුය. මේ සඳහා අවශ්‍ය කරන ළමා, යොවුන් සහ වැඩිහිටි සාහිත්‍ය කෘති
එකතුවක් පුස්තකාලයේ ගොඩ නැගීමත් ඒවා රස විඳින ආකාරය ක්‍රියාකාරකම් පාදකව සිදු
කිරීමත් පාසල් පුස්තකාලයේ මූලික වගකීමක් වේ. විෂය කරුණුවලින් පමණක් හිස පුරවා
නොගත් සමබර පෞරුෂයක් සහිත සහ අනෙකා ඉවසන පුද්ගලයෙකු නිර්මාණය කළ හැක්කේ එවිටය.
වර්තමාන ලෝකයේ කිසිදු කාර්යයක් තොරතුරු තාක්ෂණය භාවිතයෙන්
තොරව සාර්ථකත්වය කරා රැගෙන යාමට නොහැකි තරමට එය ජන ජීවිතයට සමීපව පවතී. පාසල් අධ්‍යාපනයට
මෙය ප්රබලව අදාළ වේ. එහෙත් මෙරට පාසල්වල ඉගැන්වීම් සහ ඉගෙනුම් ක්‍රියාවලිය තුළ
තොරතුරු සන්නිවේදන තාක්ෂණය ප්රබලව යොදා ගැනීම දක්නට ඇත්තේ මඳ වශයෙනි. මෙහිදී ද
වැඩි අවධානය යොමු කර ඇත්තේ තොරතුරු තාක්ෂණය වෙනම විෂයයක් ලෙස ඉගැන්වීමටය. මේ නිසා
පාසල්වල් ඇති පරිගණක විද්‍යාගාර මුළුමනින් ම පාහේ භාවිත වන්නේ තොරතුරු තාක්ෂණ විෂය
ඉගැන්වීමටය. නමුත්, අද අවශ්‍යව ඇත්තේ
විෂයමාලාවේ පවත්නා අනෙකුත් විෂයයන් ඉගැන්වීමට තොරතුරු සන්නිවේදන තාක්ෂණය යොදා
ගැනීමට පියවර ගැනීමය. මෙහිදී ගුරුවරුන් හට අන්තර්ජාල සාක්ෂරතාව ලබා දීම ප්රමුඛස්ථානයක්
ගනී. මන්ද, අන්තර්ජාලය වර්තමානයේ ප්‍රබල ඉගැන්වීම් මෙවලමක් වීමය. සන්නිවේදන
තාක්ෂණය සම්බන්ධයෙන් වත්මන් ශිෂ්‍ය ප්‍රජාව සහ ගුරුභවතුන් අතර පවත්නා පරතරය අවම
කිරීමට ද මෙය උපකාරී වනු ඇත. මෙය ද පාසල් පුස්තකාල හා ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයේ
ප්රමුඛ කාර්යයක් වේ.
මෙම ක්‍රමවේදය පාසල් පද්ධතිය වෙත හඳුන්වා දීම
සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතික පුස්තකාල හා විඥාපන විද්‍යා ආයතනය විසින් අධ්‍යාපන
අමාත්‍යාංශය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු, කලාප අධ්‍යාපන කාර්යාල සමග එක්ව මෙන්ම
පාසල් පාදකව ද වැඩසටහන් රැසක් රට පුරා ක්‍රියාත්මක කර ඇත. එහෙත් මෙම කාල පරිච්ඡේදය
තුළ අප විසින් නිරීක්ෂණය කරන ලද ප්‍රධානතම කරුණක් වූයේ මෙම ක්‍රමය ශ්‍රී ලාංකීය
පාසල් පද්ධතියට අවියෝජනීයව බද්ධ වීමට නම් මෙය ජාතික මට්ටමේ අධ්‍යාපන ප්රතිසංස්කරණයක්
ලෙස හඳුන්වා දිය යුතු බවයි. එමෙන් ම එය ඊට අදාළ ආයතන සියල්ලෙහි සහභාගීත්වයෙන් සිදු
විය යුතු කාර්යයක් බවයි. මෙයින් අදහස් වන්නේ මෙම ක්‍රමය පාසල් තුළ ඵලදායීව ක්‍රියාත්මක
වීම සඳහා පුස්තකාල කාර්ය මණ්ඩල පමණක් නොව අධයාපන නිලධාරීන්, විදුහල්පතිවරුන් මෙන්
ම සියලු විෂය ගුරුවරුන් ද ඒ පිළිබඳ දැනුවත්භාවයක් ලබා ගත යුතු බවය. එමගින්
ඉගැන්වීම මෙන් ම ඉගෙනුම ද රසවත් අත්දැකීමක් බවට පත් කර ගත හැකි වනු ඇත.
ආශ්රිත මූලාශ්‍ර
Anderson, L.W et.al (2001) A Taxonomy
for learning, teaching and assessing: a revision of Bloom’s Taxonomy of
educational objectives, New York, Pearson, Allyn and Bacon
Pemadasa, P.G. (2013) Information
Literacy for Teachers, Power Point Presentation
Wijetunge, P., Alahakoon, U.P.
(2006), Empowering 8: the Information Literacy Model developed in Sri Lanka to
underpin changing educational paradigms of Sri Lanka, Library and Information
Management, Vol. 1 Issue 1 & 2, pp 36-46
පේමදාස, පී.ජී., අලහකෝන්, යූ.පී., (2006),
පුස්තකාල හා තොරතුරු විද්‍යා ගුරුවරුන් (ගුරුපුස්තකාලයාධිපතීන්) සඳහා දිශාභිමුඛ
වැඩසටහන් අත්පොත, අධ්‍යාපන අමාත්‍යාංශය, කොළඹ
සේනාධීර, සිල්වි (2012), ඉගෙනුම් කාර්යක්ෂමතා
වර්ධනය, ගොඩගේ, කොළඹ
cant read the full article. pls correct it
ReplyDeleteThank you sr.
ReplyDeleteThnk u i wantto study this topic and i want more informations of this topic pls help me know about thees.
ReplyDeleteThnk u
ReplyDeleteVERY IMPORTANT ARTICLE SIR, NIHAL
Delete👌👌
ReplyDeleteයතාර්ථයක් බවට පත්වියයුතු ඔබේ ඉදිරිපත් කිරීම අගෙයි
ReplyDelete